Thursday, 08 February 2018 13:49

නිදහසින් 70 වසරකට පසු මගේ රටට වීරයෙක් බිහිවී සිට්නවා - ආන්දෝලනාත්මක බ්‍රිගේඩියර් වරයා සම්බන්ධයෙන් කලාකරුවෙකු තැබූ සංවේදී සටහන -

මිනිසුන් තීන්දු තීරණ ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් මොළයෙන් ගන්නා තීන්දු. අනෙක හදවතින් ගන්නා තීන්දු. අපි අපේ සදාචාර වපසරිය හා නීතිරීතිවලට යටත්ව ගන්නා තීන්දු තීරණ අයිති වන්නෙ මොළයට. හැඟීමෙන් අප ගන්නා තීරණ අයිති වන්නේ හදවතට. 

මේ කතා කරන්න යන්නේ එලෙස හදවතින් උපන් හැඟීමක් සම්බන්ධයෙන්. බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක මහතා සම්බන්ධයෙන් මට මේ මොහොතේ ඇතිවෙලා තියෙන්නෙ ඉමහත් අභිමානයක්. අපි හදවතින් ගන්නා තීරණ තවදුරටත් වෘතියක් නොවන බව ඔහු පසක් කළා. හමුදාවේ සිටි යුද විරුවන් සටන් වැදුනේ වැටුපක් බලාගෙන නෙමෙයි. ඔවුන්ට රට ජාතිය සම්බන්ධයෙන් පිරිසිදු හැඟීමක් තිබුණා. මේ රණ විරුවාගේ ඉතිහාසයත් ත්‍රස්ත විරෝධී එකක් මිසක දෙමළ විරෝධී එකක් නෙමෙයි. 

මම නම් දුටුවේ එතුමා සිංහ කොඩියට ඇඟිල්ල දිගු කරලා පෙන්නුවේ මේ ශ්‍රී ලංකාව කියන රට අයිති කරගන්න එනවා නම් අපේ බෙල්ල කපලා තමයි ඒක කරන්න වෙන්නෙ කියන සංඥාව. අපේ ජීවිත මතින් මිස යලි කිසි දිනක ත්‍රස්ථවාදීන්ට මේ රට යටත් කරගන්න ඉඩ නොදෙනවා කියන සංඥාවයි ඒ දුන්නෙ. එහෙම නැතිව මිනිස්සුන්ගෙ බෙලිකපනවා කියන්න තරම් පටු තැනක එතුමන්ගේ දේශ මාමකත්වය තිබුණා වෙන්න බැහැ. 

අනෙක් අතට ලංකාවෙ තානාපති කාර්‍යාලයක් අසල ඒ රට නිදහස සමරණ මොහොතක මේ විදියට ලෝකයක්ම තහනම් කරපු ත්‍රස්ථ සංවිධානයක් වෙනුවෙන් උද්ඝෝෂණ තියන එකේ වරදක් කිසි කෙනෙකුට නොපෙනීම ගැන මම දුක් වෙනවා. අඩුගානෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොන්ද පණ නැද්ද මෙවැනි නීති විරෝධී උද්ඝෝෂණ පාලනය කරන්න.

ශ්‍රී ලාංකිකයන් කියන්නෙ නිවට ජාතියක් නෙමෙයි. බ්‍රිගේඩියර් වරයාගේ හැසිරීම වසර හැත්තෑවක් තිස්සේ  අපි සමරන මේ නිදහසේ අභිමානවත් අභිරූපනය ලෙස මම දකිනවා. 

මේ ඡායාරූපය මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන එකක්. මම විශ්වාස කරන විදියට අධිරාජ්‍යවාදීන් ඉදිරියේ ඉංග්‍රීසි කොඩිය බිම දා පාගපු වාරියපොළ සුමංගල හාමුදුරුවන් ගේ ඒ වීරෝදාර ක්‍රියාව හා සමාන අභිමානයක් මට එතුමන් සම්බන්ධයෙන් තියෙනව . ඒ වගේම සිරියාවේ වෙරලේ මියගිය දරුවාගේ සේයාරුව මුලු ලෝකයේම අවදානය දිනාගත්තා වගේ මේ සේයාරුවත් කවදාහෝ ලංකාවේ ඉතිහාසගත සේයාරුවක් වේවි. 

මෙම ක්‍රියාවේ නීත්‍යනුකූල භාවය හෝ හමුදා විනය සම්බන්ධයෙන්  මම තර්ක කරන්නෙ නැහැ. නීතියට අනුව ඔහු වැරදි ඇති. ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගත් ගනීවි. ඒ නිසයි මම නැවතත් කියන්නෙ හදවතින් ගන්නා තීරණ තව දුරටත් වෘතියක් නෙමෙයි කියලා.

හැත්තෑ වැනි නිදහස් සැමරුම වෙලාවෙ මම අවංකවම සතුටු වෙනවා. දැන් අපිට විරුවෙක් ඉන්නවා කියන අබිමානය මට දැනුනා. ඔහුට නැතිවෙන්නෙ වෘතියක් වෙන්න පුළුවන්. ඒත් ඔහු ජාතියක් දිනාගෙන අවසන්.  රට වෙනුවෙන් සටන් කිරීම, රැකියාවක් නොවන බව පෙන්නූ මේ බ්‍රිගේඩියර් වරයා මට ජාතික වීරයෙක්.

මම හිතන්නෙ අනාගතයේ මේ රට හොයපු නියම පොදු අපේක්ෂකයා වන්න ඔහු සුදුසුයි. 

- ධනංජය සිරිවර්ධන -

 

තව විස්තර කියවන්න.